ශ්‍රී ලංකාව මේ වන විට මන්දපෝෂණය, ක්ෂුද්‍ර පෝෂක ඌනතා, අධි බර/ස්ථුලතාව සහ ආහාර රටාවන් නිසා ඇති වන බෝ නොවන රෝග සමග පවතින සම්බන්ධතාවයන් නිසා විෂම පෝෂණයේ ත්‍රිත්ව ආකාරයකට මුහුණ දෙමින් සිටී. මතුවෙමින් පවතින මෙම පෝෂණ අභියෝගවලට ප්‍රතිචාර වශයෙන්, 2026 ජාතික පෝෂණ මාසය “කෙටි ආහාර ගැන නැවත සිතමු: සෞඛ්‍ය සම්පන්න, ස්වභාවික කෙටි ආහාර තෝරමු”යන තේමාව යටතේ පවත්වනු ලැබේ. සැකසූ සහ අති සැකසූ (ultra-processed) කෙටි ආහාර නිතර පරිභෝජනය කිරීමත් සමඟ ඇති වන සෞඛ්‍ය අවදානම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ සියලුම වයස් කාණ්ඩ අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ. අධික ලෙස කෙටි ආහාර අනුභව කිරීම, විශේෂයෙන්ම සීනි, ලුණු සහ අහිතකර මේදය බහුල ආහාර ගැනීම මගින් අධි බර, ස්ථුලතාව සහ දියවැඩියාව, හෘද වාහිනී රෝග සහ පිළිකා ඇතුළු බෝ නොවන රෝග රාශියක් ඇති කිරීමට දායක විය හැකි බව සාක්ෂි මගින් පෙන්නුම් කෙරේ.
2026 ජාතික පෝෂණ මාසය මඟින් අනවශ්‍ය ලෙස කෙටි ආහාර අනුභව කිරීම අවම කරමින්, සමබල සහ පෝෂ්‍යදායී ප්‍රධාන ආහාර වේල්වලට මුල්තැන දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. කෙටි ආහාර අවශ්‍ය වන අවස්ථාවලදී, සුදුසු ප්‍රමාණයෙන්, පලතුරු, එළවළු, ඇට වර්ග, ධාන්‍ය වර්ග, තම්බන ලද අල වර්ග සහ සීනි එකතු නොකළ කිරි නිෂ්පාදන වැනි ස්වභාවික, අවම වශයෙන් සකස් කරන ලද සහ දේශීයව ලබා ගත හැකි ආහාරවලට මූලිකත්වය ලබා දිය යුතුය.
සමාජීය දැනුවත් කිරීමේ වැඩසටහන්, පෝෂණ අධ්‍යාපන ක්‍රියාකාරකම් සහ බහු පාර්ශවීය අන්තර් සහයෝගීතාවය හරහා, සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීම් ප්‍රවර්ධනය කිරීමට, පරිවෘත්තීය සෞඛ්‍යය (metabolic health) වැඩි දියුණු කිරීමට සහ පෝෂණය ආශ්රිත රෝග වැළැක්වීමට සහාය වීම මෙම වැඩසටහනෙහි අරමුණ වන අතර, ඒ හරහා සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් ඵලදායී ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීම මූලික වේ.