Menu

පෝෂණය අංශය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු!

සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩ නැගීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් රට පුරා දියත් කරන පෝෂණ වැඩසටහන් සම්බන්ධීකරණ කරනු ලබන්නේ, පෝෂණ අංශය  මගිනි. අනෙකුත් අදාළ අමාත්‍යාංශ,  ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ අත්වැල් බැඳ ගනිමින්  මෙම අංශය විසින් රට පුරා පෝෂණ වැඩසටහන් පවත්වනු ලබයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමෙහිලා ඉවහල් වන ජාතික පෝෂණ ප්‍රතිපත්තිය හා ඊට අදාළ උපායමාර්ග මෙන්ම, ඒ සඳහා වන මාර්ගෝපදේශ සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම අංශයේ ප්‍රමුඛ වගකීම් වේ. පෝෂණමය වශයෙන් ශක්තිමත් රටක් ගොඩ නැංවීම සඳහා සඳහා ලාංකික පුරවැසියන් හට සහය සැලසීමට පෝෂණ අංශය නිරතුරුවම ඇපකැප වී කටයුතු කරයි.

"ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" එළිදැක්වීම

සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා "ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" සම්පාදනය කර ඇත.  මෙය 2010 වසරේ නිකුත් කල ජාතික පෝෂණ ප්‍රතිපත්තියේ සංශෝධිත පිටපත වන අතර, එය 2020 - 2030 දශකය සඳහා යෝජිත ප්‍රතිපත්ති හා ක්‍රියාමාරග වලින් සමන්ව්තය.

මෙම සංශෝධිත ප්‍රතිපත්තිය, සියලුම බහු ආංශික සහයෝගිතාවයෙන් සහ හවුල්කාරිත්වයෙන් සම්පාදනය කර ඇත.  මෙය සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ තත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමටත්, ආහාර සුරක්ෂිතතාවය සුරැකීමටත්, ආරක්ෂිත ආහාර සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා වූ නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත්, සදාචාරී විරෝධී අලෙවිකරණය වැලක්වීමටත්, හදිසි අවස්ථා වලදී පෝෂණ ප්‍රවර්ධනය ඇතුළුව සෑම අවස්ථාවකදීම ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය පිණිස අත්‍යාවශ්‍ය උපායමාර්ගික සැලසුම් හා ප්‍රතිපත්ති වලින් සමන්විත වේ.

එළිදැක්වීමේ උත්සවය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම උත්සවය පැවැත්වෙන්නේ;

දිනය    : 2023 මාර්තු 3 වෙනු දින

වේලාව    : පෙ.ව. 09.30 – ප.ව. 01.30 දක්වා

ස්ථානය : බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07

ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ

සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හා ජීවන රටාවන් වැඩි දියුණු කිරීම පිණිස, ප්‍රජාවේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ පෝෂණ අධ්‍යාපන වැඩසටහන් සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් සාක්ෂි මත පදනම් ව සංස්කෘතික වශයෙන් යෝග්‍ය ලෙස ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සමුහයකි.

  1. වර්ණවත් හා විවිධත්වයෙන් යුතු ආහාර නියමිත ප්‍රමාණ වලින් දිනපතා ගන්න.
  2. පාහින ලද ධාන්‍ය හා නිෂ්පාදන වෙනුවටතැම්බූ හෝ නිවුඩු සහිත සහල් ඇතුළු කුරුට්ට සහිත ධාන්‍ය හා නිෂ්පාදන ආහාරයට ගන්න.
  3. දිනකට අවම වශයෙන් එළවළු වර්ග 2 ක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග 2 ක් ආහාරයට ගන්න.
  4. සෑම ආහාර වේලකටම පියළි ඇට වර්ගයක් සමඟ මාළු හෝ බිත්තර හෝ තෙල් කොටස් ඉවත් කළ මස් එකතු කරගන්න.
  5. නැවුම් දියර කිරි හෝ එවායේ මුහුන් යොදා මුදවන ලද නිෂ්පාදන ආහාරයට ගන්න.
  6. කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට හෝ බීජ වර්ග අහුරක් දිනපතා ආහාරයට ගන්න.
  7. කෑමට ලුණු එකතු කර ගැනීම හා ලුණු වැඩි කෑම ගැනීම සීමා කරන්න.
  8. පැණිබීම, බිස්කට්, කේක්, රසකැවිලි සහ සීනි ආදේශක සීමා කරන්න.
  9. වතුර සෞඛ්‍ය සම්පන්නම පානයයි: දවස පුරා වතුර වීදුරු 8 සිට 10 දක්වා (ලීටර් 5-2.0) පානය කරන්න.
  10. ක්‍රියාශීලී වන්න : අවම වශයෙන් සතියකට මිනිත්තු 150 – 300 අතර කාලයක් මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් යුතු ව්‍යායාම වල යෙදෙන්න.
  11. දිනකට එක දිගට පැය 7-8 ක වත් නින්දක් ලබාගන්න.
  12. පිරිසුදු සහ වස විස නැති ආරක්ෂිත ආහාර කෑමට ගන්න.
  13. නැවුම් හා නිවසේදීම පිළියෙළ කර ගත් ආහාර කෑමට ගන්න : සැකසූ හා අතිසැකසු (processed and ultra-processed) ආහාර සීමා කරන්න.
  14. කෑම ඇසුරුම් වල ඇති ලේබල හැමවිටම කියවන්න.

ඉදිරි වැඩසටහන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ඉදිරි වැඩසටහන්

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න